ඕන්න ඔහොම අපේ පංසලේ බුදු පිලිම වහන්සෙගෙ නේත්තරා මංගල්ලෙත් සිද්ධ වෙලා අහවර වුනාය කියමුකො... අර දොරකඩ අස්න අනුසාශනාවත් ඒ පිංකම් මාලාවෙම එක අංගයක්... ඒකෙන් අපෙ සෝමයා ගොඩ ගියා... පිංකං ඉවර වෙලා සුමාන තුන හතරකින් වගෙ සෝමයා ගෙ නම අපේ පංසලේ නැවතත් ඉස්මතු වුනා.... ඒත් මේක සෝමෙගෙ කතාවක් නම් නෙවෙයි..
පිංකම් වලින් සුමාන තුන හතරක් වගේ ගත වෙද්දි සෝමෙ කොළුවා අපේ පංසලේ දහම් පාසලට ආයුබෝවන් කියලා රජමහ විහාරෙ දහම් පාසලට මාරු උනා...සෝමෙයා ගුණමකුවාය, අරකාය මේකාය කියන නා නා විධ කතාංදර එහෙං මෙහෙං ඇහෙන්ඩ ගත්තත් එවුවා වැඩි දොහක් පැවතුනේ නෑ... සෝමෙව ආදර්සෙට ගත්තු විජයත් සද්ද නැතුවම රජමහා විහාරෙ දහම් පාසලට යන්ඩ පටං ගත්තෙ නැතෑ.. ඒක හින්ද සෝමෙයා ගැන ඇතිවෙච්චි කයි කතංදර කොච්චර දුරට පැවතුනාද කියන්ඩ විජයා හරියටම දැන ගත්තෙ නෑ...
රජ මහා විහාරෙ දහම් පාසැල හරි පිළිවෙලයි... ළමයි ටික බොහොම හොඳට විනයගරුකව හදන ගමංම දහම් දැණුමත් අපූරුවට ලබා දුන්නා...
අපේ ගෙවල් වල ඉඳලා රජ මහ විහාරෙට
සෑහෙන දුරක් තියෙනවා.. අඩුම තරමෙ හැතැක්ම දෙහෙකට නං වැඩියි... පයිංම තමයි කොටන්ඩ ඕනෙ... ඒ කාලෙ ඉතිං එහෙමට කියාල වාහන තිබිච්ච එකක්යැ... ඒ වුනාට අපි ගැන්සිය සැට් වෙලා පයිං කෙටීමෙත් මාර ආතල් එකක් තිබ්බා කියමුකො.... යෝධ ඇලෙන් එගොඩ වෙලා.. ඇලේ බන්ටෙක දිගේ වැවේ හොරොව්ව ගාවට... එතනිං වැව් බන්ටෙකේ පල්ලෙහැයිං රජ ඇල පටං ගන්න තැනට... රජ ඇල බන්ටෙක දිගේ රජ මහ විහාරෙ අබියසට... රජ ඇල පැන්නම රජ මහ විහාරෙ... ඕක තමා අපෙ ගමන් මාර්ගෙ... නේකප්පරකාර කෝලං නට නට යන කොට මහංසියක් දැනෙනව කියලැයි... ඒ මදිවට මුලු අවුරුද්ද පුරාම එක එක ජාතියෙ ගඩා ගෙඩි... කාලෙකදි පළු... ඊළඟට වීර.. ඕං දං වාරෙ ඊගාවට.. කෝන් ද.. මොර ද... වේ ගෙඩි ද.. අඹ.. තල්... වෙරළු... ජම්බු... අප්පේ මොනවද නැත්තෙ..මුලු අවුරුද්ද පුරාම මොන ම හරි පළතුරක් වැරදුනේ නැහැ.... රජ මහ විහාරෙ දහම් පාසැල අපි කොළු නඩේට හොඳට අල්ලලා ගියා..
විනය අතිනුත් අපි දිනෙන් දින ඉදිරියටම ගියා.. රජ මහ විහාරෙ ලොකු හාමුදුරුවො හරිම තේජාන්විතයි.. සීලවන්තයි... හොඳට හොඳයි වගේම වැරැද්දට දෙන දඬුවමත් ඒ වගේම තමයි.. ඒ හිංදම කවුරු කවුරුත් වරදක් කරන්න බය උනා... දහම් දැණුමත් දිනෙන් දින වර්ධනය වුනා..
දිස්තිරික් සාශනාරක්ෂක බළ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන අන්තර් දහම් පාසල් තරගාවලියකුත් හැම අවුරුද්දෙම පැවැත් වුනා... රජ මහා විහාරෙ දහම් පාසැලෙනුත් කණ්ඩායමක් හැම අවුරුද්දෙම මේ තරඟාවලියට සහභාගී උනා.. සහභාගී උනා විතරක් නෙමේ තරග වැඩි වැඩියෙන් දිනලා නම තියන්නත් සමත් උනා..මේ වෙන කොට විජයත් දක්ෂ දරුවෙක්ය කියලා ලොකු හාමුදුරුවන්ට තේරිලා තිබුණා... ඒ හින්දා මෙදා තරගාවලියෙ ගාථා ගායනා තරග ඉසව්වට රජ මහ විහාර දහම් පාසලෙන් ඉදිරිපත් කෙරුවෙ මා හෙවත් විජයාය... අනේ ඉතිං විජයාට මේක හරි ඉහළය... හිත පිරිලාය... මීට කළින් කවදාවත් මොනම තරඟෙකට වත් සහභාගී වෙලා තිබ්බෙ නැති විජයා මේ දවස් වල ඉන්නේ උඩු ගුවනේය...අඩුම තරමේ බනිස් කෑමේ තරගෙකට වත් ඉඳලා තිබුනේ නැතිය... ආඩම්බරේට, උජාරුවට ඉන්ඩ උවමනා වුනත් දහම් පාසලේ එව්වා සුම්මාය... ඒ හින්දා ඉතා අමාරුවෙන් හිත හා කය පාලනය කර ගෙන ඉන්ඩ විජයාට සිද්ධ වී ඇත..
ලොකු හාමුදුරුවො දීපු ගාථා දෙක කටපාඩං කිරීම මේ දවස් වල විජයාගේ පළමුවැනි රාජකාරිය වී ඇත... දවසෙන් දවස වැඩේ ගොඩ යන බව විජයාට සුවර්ය. සතියක් ගත වෙන විට ගාථා දෙක හොඳටම පාඩංය... තරගය දිනණ එක මහ ලොකු කජ්ජක් නොවේය... එකම දේ තරග දිනය ඉක්මණින් නොඒමය.... විජයාට රෑ හීනෙන් පෙනෙන්නෙත් දහම් පාසල් තරගයයි.... ඒ හැමදාම දිනන්නේත් විජයාමය. තරග දිනය යෙදී ඇත්තේ තව සති දෙකකින්ය.. ලබන පසළොස්වක පෝය දවසේය. ඒ දවස ඉක්මණින් එනවා නම්... ඉරිදට දහම් පාසලේදී අපේ තරගකරුවන් ගේ හැකියාවන් උරගා බැලෙන්නේය... හැමදාම විජයා ඉදිරියෙන්ම සිටින්නේය... ආයෙ ඉතිං... දොඹෙං දෙන්නංකො... විජයාට හිතෙන්නේ එහෙමය..
කොහොමිං කොහොමිං හරි දවසිං දවස ගත වෙලා තරග දිනෙත් එළැඹුනා. තරග තියෙන්නෙ හවස් වරුවෙ.. දවල් එකහමාරට කණ්ඩායම පංසලෙන් පිටත් වෙන්ඩ කතා කර ගෙන තිබුනෙ. විජයා දවාලට කෑවයිං නොකෑවයිං ගෙදරිං පැන ගත්තා. සුදෝසුදු ආරිය සිංහල ඇඳුම... විජයා හරියට කිරිකොකා වගේ... කොච්චර වෙලාවකටද දන් නෑ...
කට්ටියට යන්ඩ වාහනයක් ලෑස්ති කරල තිබුනා...තරමක වෑන් එකක්.. ලොකු ළමයි පිටිපස්සෙ... විජයා වගේ බටු ඇට ඉස්සරහට වෙන්ඩ... ඩැයිවර් ගාව ලොකු හාමුදුරුවෝ...හරියටම එකාමාර වෙද්දි වාහනේ පිටත් උනා.... සාදු... සාදු.... සාආ..දූ..!
ටවුම කෙලවරේ ඇල උඩ ලොකුවට මඩුවක් ගහල තිබ්බා.. වතුර ගැලුවෙ මඩුවෙ යටිං... ලස්සනේ බැරුවා... පහුවදා ඉඳං දංසැල දවස් තුනක්.. මේ මඩුවෙම තමයි ඒකත්... අම්මට කියලා බලංඩ ඕනෙ..අම්මා ආවොත් දංසැල වැඳ පුදා ගත්තැකි... විජයාගෙ ඔලුවෙ දැං තියෙන්නෙ දංසැල.... ගාථා කැලේ...
පැමින සිටි පිරිස පංචශීලයෙහි පිහිටු වීමෙන් උත්සව සභාව ආරම්භ වුනා.. පිලිගැනීමේ කතාව, අනුශාසනා දෙක තුනකට පස්සෙං පහු තරග ආරම්භ උනා. විජයා ගාථා දෙක ආයෙම මතක් කර ගත්තා.. තරග එකිං එක ඉවර වෙවී ඇවිත් ගාථා ගායනා තරගෙත් පටං ගත්තා... ලොකු හාමුදුරුවෝ විජයා දිහා බැලුවා.. විජයා ඒක දැක්කෙ නෑ.. ඒත් එක්කම විජයාගෙ නම කියවුනා... ඒ සැනින් කිරිකොකා වේදිකාගත වුනා..
සභාවෙන් අවසර ගත්තු විජයා පලවෙනි ගාථාවෙ පද දෙකක් කිව්වා... දංසැල.. ගාථාව.. ඔය දෙක අතර දෝලනය වෙන විජයාගෙ හිතට ඊගාවට කියන පදේ ගැන කුකුසක් මතු උනා. දෙවැනි පදේ කිව්වද නැද්ද.. සෑහෙන වෙලාවක් විජයා මේ උභතෝකෝටිකයට මැදි වෙලා හිටියා... මුළු සභාවම විජයා දිහා බලාගෙන... උපහාසය ඒ හැම ඇසකම.. හතර විළිලැජ්ජාවයි..!
😫😫😫😖😖😚😚
දැං වෙන කරන්ඩ දෙයක් නෑ... විජයා හිට ගත්තා සීරුවෙං.. පුරුෂ ධෛර්ය සමග හොඳ හුස්මක්... ඕනෑ පුයන්නක්... කියනව මුල හිටං....ගාථා දෙකම මුල ඉඳලම කිව්වා ඵක හුස්මට.. ඒත් වැඩක් උනේ නෑ.. නෝ ප්ලේස්... මැන්ටල් වලට දිණුම දෙන්න මොකෝ විනිශ්චය මණ්ඩලේ ඇත්තංට ඔල්මාදෙයැ.. .
ආපහු එද්දි ලොකු හාමුදුරුවො කිව්වා "මං දැනං උන්නා විජයා වරද්ද ගන්න බව" විළිලැජ්ජාවෙ හතරේ වර්ගය.. පොලව පලං යන්ඩ හිතුනා විජයා හෙවත් මං තුමාට... අම්මා කැමති උනේ නැති හිංදා දංසැලත් මිස් උනා.. ඔක්කොම අබ්ලික්..
ඊළඟ අවුරුද්දෙ මං තුමා උන්නෙ කථික තරගෙට... දුන්නා දොඹෙං... පළවෙනි ස්ථානය.. එදා නං දංසැල ගැන හිතුවෙම නෑ... තෑග්ගට ලැබුනා හම් බැම්මෙං බැඳපු සද්ධර්ම රත්නාවලිය පොත... අපේ අම්මගෙ තුන් මාසෙ දානේ පිංකමේ පිරිකරට පූජා කෙරුවෙ ඒ ධර්ම පුස්තකය...
දහම් පාසල් තරගාවලි මතකය එපරිදිය...😁😁😂😁😀😂😁😀
No comments:
Post a Comment