Wednesday, July 10, 2019

අතීතය ගොඩ දැමීම

බොගක් කොටන්ඩ අවුරුදු බර ගානක් පෙරුම් පෙරුවට මොකෝ වැඩේ ගොඩ දැමිල්ල නං ලේසි උනේ නැහැයි කියමුකො. ඔන්න කෙටුවාය මෙන්න කෙටුවාය වාගේ කීප වතාවක් දඟ දැම්මත් වැඩේ නං කෙරුනේම නැතිය. එක්කෝ බැරි ලබ්බ නොකර ඉන්ඩ ඕනෑය. ඒ උනාට බේත් නැති අසනීපෙ වැළඳිලා හන්දා ලබ්බ අත අරින්ඩවත්
නොකොටා ඉන්ඩ හිත හදා ගන්ඩවත් බැරි විය. ඒකට මූලිකම හේතුව උනේ බොග් ලොව කිරුළු පළන් මහා බොග් කරුවෙකු ගේ බොගට මටත් හොරා ම'සිත රහසේම පෙම් බැඳ තිබීමයි. වසර ගනනාවකට පෙර සිය බ්ලොග් අඩවිය ආරම්බ කරමින් සිය රචනා හැකියාව මොනවට විදහා දක්වන අතරතුරේදී වුවද නවකයනට බ්ලොග් උණ බෝ කිරීමේ උණක්ද එතුමාට වැළඳී තිබුනි. බොග් කොටන්නන් පැටවු ගස්සන්නට එතුමා දහිරිය දැමූ අන්දම මට තවමත් මතකය. අනේ ඉතිං අසරණ මා හටද මේ උණ වැළඳුණු අතර  ඒ උණ පහසුවෙන් සුව කර ගැනීමේ ඖෂධ වට්ටෝරුවද  එතුමාසිය බොගේ අපූරුවට අන්තර්ගත කොට තිබුණි. අනේ ඉතිං පවට පිං දිය නොහැකිය යන ධර්මතාව නැවත නැවතත් ඔප්පු කරමින් ඖෂධ වට්ටෝරුව පාවිච්චි කර බොග් උණ සුව කර ගන්නට මට නම් හැකි වූයේ නැත. කොට කොටා උඩුගත කොරාන්ට කීප වතාවක් දඟ දැම්මත් බොග උඩු සුළඟට අසු වී ගසා ගෙන ගියා මිස අන්තර්ජාලගත වූයේ නැත. අන්තරජාලයේ අන්තරස්දාන වන්නාවූ බොග් කෙටීම මහා හිසරදයක් වූවා මතකය.  මෙලෙසින් කාලය කෙමෙන් ගත වෙද්දී මගේ බොග් උණද තාවකාලිකව යටපත් වූවා වැන්න. මේ ඊයේ පෙරේදා දවසක අහම්බෙන් මෙන් එතුමාගේ බ්ලොග් අඩවියට පිවිසීමට අවස්තාවක් මට උදා විය.  වන්නාටයැ.... පෝන් එකේ බොග කොටා උඩුගත කොරන විලාසය අඩියෙන් අඩිය අපූරුවට විස්තර කෙරෙන ලිපියක් එතුමානෝ එහි පළ කොට තිබිණි. මේ ලබ්බ එහි අතුරු ඵලයකි. 
          තවත් අටුවා ටීකා ටිප්පනි උවමනා නැත.
එම මහා බොග් කරුවා වෙනින් කවුරුවත් නොවේය. බොග් ලොව පමණක්ම නොව මහන මැෂින් ලොවද දිග්විජය කල අසහාය නිර්මාණකරුවා     " අටම්පහුර " බ්ලොග් අඩවියේ නිර්මාත්රු තුමාය. අටම්පහුරේ පටවා තිබූ සකලවිධ බොග් කන්දරාව එකක් නෑර කියවීමෙන් රාගම් අඩවිය පිළිබඳව එතෙක් නොදැන වුන් නහුතයක් කරුණු කාරනා මොනවට දැන ගත්තෙමි.
අවාසනාවක මහත... අදටත් එතුමාගේ නම නොදන්නෙමි.. මහර හිරගෙදර දෙපැත්තට හූ හත අටක දුරක වන්නට පදිංචි යැයි මා සිතා සිටිනා ඔහු, අදටත් මට මුන ගැසී නැත. එසේ වුවත් බොග් ලිවීම පිණිස ඔහු මවෙත ගෙනා උත්තේජනය සුළු පටු එකක් නොවීය. එනමුදු මා වැළඳ සිටි උපන් ගෙයි කම්මැළිකම, බ්ලොග් ලොව දොර අගුළු දිගින් දිගටම මා වෙත විවර කරන්නට මැළි බවක් දැක්වූ බව නම් නොකියා නොහැකිය. එසේද වුවත් මෙදා අටම්පහුරෙන් ලද උත්තේජනය පොඩි ගැට ලබ්බක් සේ විජයාගේ ලබුගෙඩියේ පැත්තකින් එල්ලෙන්නේ මෙසේය. මේ ගැටේ ලොකු වී මහා ලබ්බක් වෙන ලකුණු පහල උනොත්, විජයාටත් තොවිලයක් නටන්ඩ බැරි වෙන එකක් නැත. ලබ්බ ඇතුලේ හෝ ලබ්බට පිටින් හෝ නටන්ඩ බලාපොරොත්තුවෙන් මේ ලබ්බ වසනු ලැබේ.
වැරදි අඩුපාඩු නං එමටය. එව්වා ගනන් ගන්ඩ එපාය. වැරදි අඩු කොරගෙන කොටන්ඩ ගුරුහරුකම් එහෙමත් ලබා දෙන්ඩය. මං බලාගෙන ඉන්නවාය. හෙනං මට යන්ඩ අවසර.


2 comments:

Unhelpful friend

Unhelpful Friend Bunny rabbit lived in the forest. He had many friends. He was proud of his friends. One day Bunny rabbit heard the loud ba...